කුරුළු යාළුවෝ

Saturday, October 5, 2013

රජරටින් වකුගඩු...ලාබයි...




ගොඩ කාලෙකින් ආව එකේ වැදගත් මෙව්වා එකක් ලියන්න හිතුවා...කුරුල්ලාගේ තර්කානුකුල ටිකිරි මොලේට මන්චි තමයි නයිස් කියලා ආව මෙව්වා එකක් මේක...දේශපාලන ඇඟිලි ගැහීම් කැපිලි කෙටිලි යටිකුට්ටු කුමන්ත්‍රණ බෑ හොඳද...සුවර් නෑ අපේ උන්...
අනුරාධපුරේ ආවට පස්සේ තමයි කුරුල්ලට අනුරාධපුරේ කියන්නේ මොනවා වගේ තැනක් ද කියල තේරුනේ...මෙහෙ පලවෙනි වතාවට ඉන්ටර්විව් එන්න කලින් කුරුල්ලා එකම එක පාරයි මතක ඇති කාලෙකට අනුරාධපුරේට ඇවිත් තියෙන්නේ...ඔන්න පලවෙනි ම දවසේ කුරුල්ලව කොලීජිය තියන තැනට එක්කන් යනවා කියලා හෙන වටයක් ගහලා ත්‍රී වීල් අංකල් කෙනෙක් පුජා නගරේ පැත්තෙත් රවුමක් ගහලා ( උට හෙන ආසාවක් තියෙන්ඩ ඇති වැඳලා පුදලා එන්ඩ) ආපහු හිටිය තැනටම චුට්ටක් එහායින් බැස්සුවා..මල්ලි 350 යි කිවා...අතේ තිබ්බෙත් පන්සීයයි.බස් එකේ එන්ඩ 120 ක් තියාගත්තාම 30යි ඉතුරු උදේ කෑමටයි දවල් කෑමටයි....ඇතිනි අරුගේ ආච්චිට පින් සිද්ද වෙන්ඩ....(සොරි ආච්චි)

ඉතින් කොහොම හරි මම ආයුර්වේදෙට තේරුනා...රජරට වකුගඩු ප්‍රශ්නේ කියා කියා මිනිස්සු හෙන ලොකුවට කතා කරන, තවත් උන් එකෙන් පර්ස් එක වඩා ගන්න ප්‍රශ්නේ ගැන කුරුල්ලට ලං වෙලා බලන්න අවස්ථාවක් ලැබුනා...එකයි මම අද මේ ප්‍රශ්නේ ගැන චුට්ටක් කියන්න හිතුවේ...මොකද චිරාත් කාලයක් තිස්සේ මේක තියන ප්‍රශ්නයක්..ඒ එක්කම ඊටත් වඩා මේක තවත් චිරාත් කාලයක් මේ රටේ තියන ප්‍රශ්නයක්...ලියනවනම් ලියන්න ගොඩක් දේවල්...එත් කෙටියෙන් කියන්නම්..මොකද අපේ සෙට් එකේ එව්වා කිවොත් මගේ අතින් මම මේ කියන්න යන ගොඩක් දේවල් මග ඇරෙයි...
අපි ගියේ මැදවච්චියට...මොකද අපේ සෙට් එකේ යාලුවෙක්ගෙ ගෙවල් තියෙන්නේ එහෙ...අපිත් එක්ක අපට මනෝවිද්‍යා උපදේශනය උගන්නන සර්,අපේ විද්‍යාලයේ පාලක සභා සභාපතිතුමා ,ලහිරු මල්ලියි(මෙයා තම මැදවච්චියේ ඉන්නේ),පේෂල අයියයි(අපේ ශිෂ්‍ය සංගමේ සභාපති),තව ප්‍රංශේ ඉඳන් ආව කට්ටියකුයි ගියේ...මේ අයගේ නම් ගම් මේකේ දාන්න බෑ...මොකද මගේ කටින් කියවෙන ඒවා හන්දා ඒ අයටත් නිකන් ටින් කිරි ගාගන්ඩ දෙන්න බෑනි...සේරටම කලින් අපි කොලිජියේ සෙට් එක එකතු වෙලා කතා කලේ මොකක්ද මේ වකුගඩු ප්‍රශ්නේ කියලා...ගියාට පස්සේ දැනන් හිටියේ නැති ගොඩක් දේවල් ඒ අයගෙන් ආවා...හිතාගන්නවත් බැරි තරම් දේවල්...පපුවක් තියන උන්ට උහුලගන්ඩ බැරි,මේවා අහපුවාම පපුව පිච්චිලා අපිත් අන්තෙටම අසරණ වෙන තැන් තිබ්බ එතන...

මේ හද්ද කාෂ්ටක ගිනියම් පොලවේ පය ගහල මේකේ දඟලපු අපේ බ්ලොග් කියවන එවුන්ට මේ දුක තේරෙයි..මොකද මේකේ එකෙක්වත් රෝස මල් උඩින් මේ ගමන ආවේ නැති හන්දා...එකට දුක සැප බෙදාගත්තු අපි ඒක දන්නවනි...මේ ප්‍රශ්නේ ආව එක පවුලක් මේ...
තාත්තට වයස 45  යි...වකුගඩු රෝගේ හැදිලා...ඉතින් බේරගන්න පුළුවන් කියලා ඒ අම්මා තමුන්ගේ එක වකුගඩුවක් මේ තාත්තට බද්ධ කරවලා...එත් ඒකටත් ලෙඩේ බෝ වෙලා...දැන් අම්මට වැඩපල කරන්නත් තාත්තට වැඩ කරන්නත් අමාරුයි...පොඩි දරුවෝ තුන් දෙනෙක්...ඇටසැකිලි වෙච්ච ජීවිතේ අස්සෙන් මේ අසරණයෝ ඉල්ලන්නේ කොළඹ ඒ සී රූම් එකක යහතින් කාල බීල ඉන්ඩ නෙවේ...තමුන්ට නැතිවෙච්ච ඒ දුප්පත් ජිවිතේ...
තවත් තාත්තෙක් හැම සතියෙම යනවා ඉස්පිරිතාලෙට...ඇහුවා මම මෙහෙම ප්‍රශ්නයක්...

“ ඇයි තාත්තේ බේරගන්න අමාරු බව දැන දැනත් තවත් මහන්සි වෙන්නේ..තාත්තගේ ඇඟ තවත් මහන්සි වෙනවා විතරනි.”
එත් ඒ මනුස්සය දුන්නු උත්තරෙන් මට තේරුනේ දාන පාරමිතාව,අධිෂ්ඨාන පාරමිතාව පුරපු බෝධිසත්වයන්ගේ ප්‍රතිරූපයක්...ඇස වලට කඳුළු ඉනුවා..මම මේ ලෝකේ වෙනුවෙන් මොනවද කරන්නේ කියල මට හිතුනා..

“පුතේ මම ළඟදීම මැරෙයි...මගේ ඇඟට එක දැනෙනවා...එත් මම කුලී වැඩ කරලා හම්බ කරන සල්ලි වලින් නොකා නොබී මෙහෙම ඉස්පිරිතාලෙට යන්නේ පරීක්ෂණ වලට ඉන්ඩ...කවදාහරි මගෙනුත් මේ ලෙඩේට උත්තරයක් හොයන්ඩ පොඩි උදව්වක් හරි වෙයි...”

මට ඒ වෙලේ ඒ මනුස්සයට කියන්ඩ ශක්තියක් තිබුණ නෑ...එත් මගේ රත්තරන් තාත්තේ උඹ ඔහොම දුක් විඳගෙන ඉස්පිරිතාලේ ගානේ යනවා. ඔය රිපෝට් අපේ එව්වෝ හරියට ගනීද?එව්වා කොහේ කොහේ දායිද?එත් වටිනවා උඹේ ධෛර්යය...මල් තියල වඳින්න ඕනි හැම මිනිහෙක්ම උඹට...

ඇත්ත තත්වේ වහගෙන අපේ අයියලා කරන මේ නව නින්දිත වැඩේ ගැන එළියේ කතා කරන්න බෑ කාටවත්...මේ කුරුල්ලටත්..එතකොට හෙට උදේට සුදු වෑන් එකක් අපේ ගෙවල් පැත්තෙත් කැරකෙයි...සතියකින් විතර අහන්න ලැබෙයි කොහේ හරි මරලා දාල කියලා...
මෙන්න වකුගඩු රෝගේ ඇත්තම ඇත්ත තත්වේ....ගොඩක් අය කියනවා ආසනික් හින්දලු...ඇත්ත ආසනික් තියනවා...ආසනික් නිසා විෂයි...සම්පුර්ණ ඇත්ත...දැන්නම් මේ කාරණෙත් ටිකක් එලියට ඇවිත්.එත් ටිකයි...ආසනික් වලට වඩා මෙතන ප්‍රශ්නේ කැඩ්මියම් කියන බැර ලෝහය...

උදාහරණයක් ගමු...මේ කැඩ්මියම් වලට පුළුවන්ලු ආහාර දාමයක් දිගේ ඉහලට යන්න වර්ධනය වේවි...මෙන්න මෙහෙමයි...අපි හිතමු එක බත් ඇටේක තියනවා කැඩ්මියම් එකක්.එතකොට මාළුවෙක් බත් ඇට දහයක් කෑවා...එතකොට මාළුවාගේ ඇඟේ කැඩ්මියම් 10 යි.මාළු 10 දෙනෙක්ව කෑවා තව ලොකු මාළුවෙක්.එතකොට ඒ මාළුවා ගාව 100 යි.ඒ වගේ මාළු 10 ක් කෑවා මම.එතකොට මම ගාව කැඩ්මියම් 1000 යි...දැන් තේරුනා නේද බරපතලකම....

ඊ ගාව ප්‍රශ්නේ තමයි කවදාවත් නොතිබ්බ මෙහෙම දෙයක් කොහොමද එක පාර ආවේ කියලා...ලාබ  බඩුවේ හිලක් ඇතී කියනවනි.මතක ඇති කට්ටියට පොහොර වගයක් බෙදුවා අඩු ගානට.කවුද කින්ද මන්ද ඕනි නෑ...කතාව ඇත්තනි.බෙදුවනි.ඒවා ගත්තේ ගොවිතැන් කරන අයනි...වැඩිපුර රජරටනි.දැන් ප්‍රශ්නේ විසඳුනා නේද?
ඔන්න ප්‍රශ්නේ හොයාගත්ත.වුනු හැටි හොයාගත්ත.ප්‍රතිකර්මේ හොයා ගත්ත.මේක කියන්න පුළුවන් කාටද?මට මේක කියන්න පුළුවන් මේ අපේ සෙට් එක ඇතුලේ විතරයි නේද?එතකොට මා එක්ක ගිය අනිත් අයට කියන්න පුළුවන් සීමාවල් තියනවා...වැඩියේ කිවොත් රස්සාවත් නෑ..දරු පවුලක් ඉන්නවනම් ඒ දරු පවුලත් නෑ...මේකයි රටේ තත්වේ...
දෙයක් කියන්නම්...මේ ප්‍රශ්නේ විසඳන්න හරිම අමාරුයි..මොකද පොලවට වැටුණු දෙයක් අංශුවෙන් අංශුව ගන්න අමාරු වේවි...හැබැයි පාලනයක් කරන්න පුළුවන් වේවි අපට...කැඩ්මියම් අනන් මනං ගැන බයිලා මේ මිනිස්සුන්ට වැඩක් නෑ...මේ මිනිස්සුන්ට ඕනි ජිවිතේ... ප්‍රංශේ ඉඳන් ආව අය මේ අසරණයින්ට වතුර ෆිල්ටර් දෙන්න පොරොන්දු වුනා...ලොකු ධාරිතාවක් තියන එකක්...ගමටම 3ක් වගේ තියේවි...මේ එක ගමක්..එතකොට අනිත් ඒවා...???තවත් දෙයක්.දැන් එහෙ වතුර විකුනනවා...ලීටර් එකක් රුපියල් 3 යි...සුළු ගානක් නේද?නෑ සුළු නෑ...මේ මිනිස්සුන්ට සුළු නෑ..දවසකට මිනිහෙක්ට බොන්න කියනවා ලීටර් 6 ක්වත් අඩුම තරමේ.හතර දෙනෙක් ඉන්න පවුලකට බොන්න විතරක් එහෙමනම් ලීටර් 24 යි..මාසෙටම ලීටර් 720 යි...එතකොට ගාන රු.2160 යි...අර කවුද මන්ද මී හරකෙක් පවුලක හතර දෙනෙක්ට දැම්ම බජට් එකට මේකත් දැම්මද මන්දා.....

හෙන ගහපන්.....( මේක කියන දහ දෙනෙක් හෙන ගහපන් කියල කියයි.මේවා කරපු තොපිට තුවාලයක් හරි හැදෙයිනි.සැනසීමයි කුරුල්ලට)

4 comments:

  1. උඹට නාථ දෙයියන්ගේම පිහිටයි

    ReplyDelete
  2. එසේම වේවා...උම්මා ඈ...උඹටත් වල්ලි අම්මගේම පිහිටයි...

    ReplyDelete
  3. ඕකුන්ට හෙන තියා මොන වැහි පොදක්වත් ගහන්නෙ නෑ බං.. පොඩි මිනිහට තමයි හැම හෙනේම....

    ReplyDelete
  4. ඒක ඇත්ත යසිත්...උන් ඉන්න සැප කනේ තියාගෙන...මේ පැත්තට ගොඩ වුනාට පින් හොඳේ...

    ReplyDelete

අදහසක් දාමුද?